
පලස්තීනයට සහය දෙන්න, ඊශ‍්‍රායලයට විරෝධය දක්වන්න, අපිට තහනම් ද?
ගාසා තීරය මිහිපිට අපායක් බවට පත් කරමින් හමාස් සංවිධානය සහ ඊශ‍්‍රායලය අතර යුද්ධය දවසින් දවස දරුණු වෙමින් පවතී. මේ වන විටත් ඊශ‍්‍රායල හමුදා විසින් සිදුකරන ප‍්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ පලස්තීන වැසියන් 50,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ගාසා සෞඛ්‍ය අමාත්‍යංශය පැවසීය. ඉන් 18,000 කට ආසන්න පිරිසක් ළමුන් බවට හඳුනාගෙන තිබේ. කෙසේ වෙතත් ගාසාහි රජයේ මාධ්‍ය කාර්යාලය මීට මාස දෙකකට පමණ ඉහතදී ප‍්‍රකාශ කලේ සුන්බුන් යට සිරවී මිය ගොස් ඇති පිරිස් ද සමඟ සැබෑ මරණ සංඛ්‍යාව 62,000 කට ආසන්න විය හැකි බවයි. ඊශ‍්‍රායල ප‍්‍රහාර හේතුවෙන් ළමුන් ඇතුළු 114,000 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටී. ඊශ‍්‍රායලය විසින් ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ගාසා තීරයට ඇතුළු වීම ද සති තුනකට අධීක කාලයක් තිස්සේ සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති පසුබිමක දිනෙන් දින උග‍්‍ර වන යුද්ධය මැද ගාසාහි පලස්තීන වැසියන්ගේ ජීවිත ඛේදවාචකයක් බවට පත්ව තිබේ.
මේ ඛේදවාචකයට එරෙහිව ලොව රටවල් රැසක් සහ ජගත් සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන ද පලස්තීන වැසියන් වෙනුවෙන් ගාසා තීරයට සටන්විරාමයක් ඉල්ලා සිටී. අවම වශයෙන් ගාසා වැසියන්ට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමට හෝ කෙටි සටන්විරාමයක් ඔවුහු අපේක්ෂා කරති. ලොව පුරා රටවල් රැසක පලස්තීන වැසියන් වෙනුවෙන් ඊශ‍්‍රායල විරෝධී විරෝධතා ද පැවැත්වේ. ඒ, ඊශ‍්‍රායලය මානුෂීය ආධාර ලබානොදී කුසගින්න, පිපාසය පලිහක් කරගනිමින් තම බලය වෙනුවෙන් ගාසා තීරයේ යුද මෙහෙයුම් සිදුකරන බවට ජාත්‍යන්තරයෙන් ප‍්‍රබල චෝදනා එල්ල වෙද්දීය.
පලස්තීන වැසියන් වෙනුවෙන් දක්වන මේ ඊශ‍්‍රායල විරෝධය වීථිවලට බැස සිදුකරන විරෝධතාවලට පමණක් සීමා වී නැත. විවිධ පුද්ගලයෝ විවිධකාරයෙන් මීට විරෝධය දක්වති. මේ අනුව ශ‍්‍රී ලංකාවේ ද ඇතැම් පුද්ගලයින් සිය ඊශ‍්‍රායල් විරෝධය පළ කළ අවස්ථා තිබේ. කෙසේ වෙතත් එලෙස ඊශ‍්‍රායලයට විරෝධය පළ කළ පුද්ගලයින් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිදුවීම් කීපයක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.
පසුගියදා කොළඹ ප‍්‍රසිද්ධ සාප්පු සංකීර්ණයකදී 22 හැවිරිදි තරුණයෙකු එහි තිබූ කසල බඳුනක ඊශ‍්‍රායල් විරෝධී ස්ටිකරයක් ඇලවීම හේතුවෙන් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවට පත්වූ බව වාර්තා විය. පසුව ඔහුව දින 90 ක් රඳවාැනීමේ නියෝග ලබාගෙන තිබූ බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට අමතරව එරාවුර් ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පලස්තීනය වෙනුවෙන් කවි රචනා කළේ යැයි පොලිසියට ගෙන්වා කටඋත්තර ලබාගෙන ඇති අතර බේරුවල ප‍්‍රදේශයේදී සිය ජංගම දුරකථනයෙන් පලස්තීනය පිළිබඳ වීඩියෝවක් හුවමාරු කළ අයෙකුගේ ජංගම දුරකථනය ද මාස තුනක් තිස්සේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
තවද කොළඹ ඊශ‍්‍රායල් විරෝධී උද්ඝෝෂණයක් සංවිධානය කළ පුද්ගලයෙකුගේ නිවසට පැමිණී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් උද්ඝෝෂණ සිදුනොකරන ලෙස ඔහුට බලපෑම් කර ඇති බව ආරංචි මාර්ග පවසයි. ඔහුගෙන්ද කොළඹ අපරාධ කොට්ඨාශය ප‍්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව දුරකථනය ඔවුන් භාරයට ගෙන ඇතැයි සඳහන්. ඔහුගේ නිවසේ ඊශ‍්‍රායල් විරෝධී ස්ටිකර් ඇත්දැයි නිලධාරීන් පැමිණ පරික්ෂාකර ඇත.
මෙවැනි සිදුවීම්වලින් පෙනී යන්නේ පලස්තීනයට සහය දක්වන පුද්ගලයින් මර්දනය කිරීමට දරන උත්සහයකි. වත්මන් රජය ද බලයට පත්වීමට පෙර සිටම පලස්තීනයට සහය දක්වන බව ප‍්‍රකාශ කළ ද දැන් පලස්තීනයට සහය දක්වන පුද්ගලයින් අත්අඩංගුවට ගනිමින් ඔවුන් මර්දනය කිරීමට දරන උත්සහය පිටුපස ඇත්තේ කුමන අරමුණක් ද යන්න පැහැදිලි නොවේ.