පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ලබන මැයි මස 6 වනදා පැවැත්වීමට නියමිතයි. මෙය පුංචි ඡන්දය ලෙස හැඳින්වුව ද ජනතාවට මේ මැතිවරණයේ ඇති වැදගත්කම නම් කුඩා කොට සැලකිය නොහැකිය. මන්ද යත් රටේ ග‍්‍රාමීය, අර්ධ නාගරික හා නාගරික ප‍්‍රදේශවල සංවර්ධනය වෙනුවෙන් මෙම පළාත් පාලන ආයතනවල ක‍්‍රියාකාරීත්වය අතිශය වැදගත් වේ. ජනාධිපතිවරණයේදී හා මහමැතිවරණයේදී විධායකයට සහ ව්‍යවස්ථාදායකයට සුදුස්සන් තෝරා පත්කරන ජනතාව පළාත් පාලන ආයතන ඡුන්ද විමසීම තෙක් බලා සිටින්නේ තමන්ගේ ගමේ නගරයේ සංවර්ධනය වෙනුවෙන් සුදුස්සන් තෝරාපත්කර ගැනීමටයි. ඒ පිළිබඳ මේ දිනවල මැතිවරණ වේදිකාවේ විවිධ දේශපාලන පක්ෂ විවිධ කතා පවසද්දී වැඩි අවධානයකට ලක්වූ කතාවක් වූයේ රට කරවන ආණ්ඩුවේ ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු සිදුකරන කතාවකි. එනම් පළාත් පාලන ආයතනවල බලය ද විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ බලය හිමි ජාතික ජන බලවේගයට හිමිවිය යුතු බවයි. එමෙන්ම ජනාධිපතිවරයා පසුගියදා කන්තලේ ජන රැලියක් අමතමින් ප‍්‍රකාශ කලේ යම්කිසි පළාත් පාලන ආයතනයක බලය ජාතික ජන බලවේගයට හිමිනොවුණහොත් එම ප‍්‍රාදේශීය සභාවල සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් ලබානොදී ඒවා කොන් කරන බවටයි. කෙසේ වෙතත් ජාතික ජන බලවේගයෙන් තරග කළ අපේක්ෂකයා වුව ද දැන් ඔහු පක්ෂ භේදයකින් තොරව රටේ සියලූ ජනතාවගේ ජනාධිපතිවරයා ය. රටේ සංවර්ධනය රටේ අනාගතය ඔහු වෙත පැවරී ඇති වගකීමයි. ජනාධිපතිවරයාගේ මේ ප‍්‍රකාශයේ වලංගුභාවය ගැන Lanka You News අප ප‍්‍රවීණ දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතාගෙන් විමසීමක් කළෙමු. එහිදී ඔහු අවධාරණය කලේ, පළාත් පාලන ආයතනවල ව්‍යාපෘති සඳහා මධ්‍යම ආණ්ඩුවේ මුදල් අවශ්‍ය නොවන බවයි. ඔහු පවසන පරිදි පළාත් පාලනයට අයත් මහ නගර සභා, නගර සභා හා ප‍්‍රාදේශීය සභාවල බලය, වගකීම් හා සීමා තීන්දු කෙරෙන පනත් 3 කි. ඉන් 1987 අංක 15 දරණ ”ප‍්‍රාදේශීය සභා පනත” මගින් එහි 01 වන කොටසේ 03 වන වගන්තියෙන් ප‍්‍රාදේශීය සභාවකට භාර කරනු ලබන වගකීම් හා කාර්යන් සඳහන් කරනුයේ, ”එක් එක් ප‍්‍රාදේශීය සභා ප‍්‍රදේශය සඳහා සංස්ථාපනය කරන ලද ප‍්‍රාදේශීය සභාව, එම ප‍්‍රදේශය ඇතුළත පළාත් පාලන ආයතන විය යුතු අතර, මහජන සෞඛ්‍යයට, පොදු උපයෝගීතා සේවාවන්ට සහ පොදු මංමාවත් වලට ද සාමාන්‍යයෙන් එම ප‍්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලූ පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරිමට ද අදාළ සියලූ කරුණු විධිමත් කිරීම, පාලනය කිරීම සහ පරිපාලනය කිරීම ඊට භාර විය යුතු ය” යනුවෙන් ය. ප‍්‍රාදේශීය සභා වෙත අදාල පනතින් ලබාදී ඇති අනෙක් වැදගත් ප‍්‍රතිපාදනය වන්නේ, එහි අංක 12(2) උප වගන්තියේ සඳහන් එක් එක් විෂයය සම්බන්ධයෙන් එනම්, ”(අ) මුදල් සහ ප‍්‍රතිපත්ති සැකසීම (ආ) නිවාස සහ ප‍්‍රජා සංවර්ධනය (ඇ) කාර්මික සේවා (ඈ) පරිසරය සහ පහසුකම් යන විෂයයන් සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය සභාවට උපදෙස් දීම පිණිස, (1) වන උපවගන්තිය යටතේ වෙනම කාරක සභාවක් පත කළ යුතුය” යන්න ය. එහි නිශ්චිත අර්ථය නම්, ”සාමාන්‍යයෙන් එම ප‍්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලූ පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරිමට” ය. ඒ වෙනුවෙන් අවශ්‍ය උපදෙස් ලබා ගැනීමටද මහ ආණ්ඩුව අවශ්‍ය නොවන්නේ යැයි පනතින් කියා ඇත්තේ ඒ සඳහා ”කාරක සභාවක්” පත්කර ගැනීමට බලය ලබාදීමෙනි. මේ ආකාරයෙන්ම නගර සභා හා මහ නගර සභා සම්බන්ධයෙන්ද අදාල පනත් මගින් ඒවාට පැවරෙන බලය, වගකීම් හා සීමා දක්වා තිබේ. ඒවායේද මධ්‍යම ආණ්ඩුවෙන් යැපීමක් හෝ හවුලක් සඳහා ඉඩ තබා නොමැති බවයි ප‍්‍රවීණ දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. එනිසා පළාත් පාලන මැතිවරණයකදී අවශ්‍ය වන්නේ ඒ බල ප‍්‍රදේශය සඳහා ප‍්‍රායෝගික සංවර්ධන සැළසුමක් ඉදිරිපත්කර ඇත්තේ කවර පක්ෂයද නැතිනම් කණ්ඩායමද යන ඡන්දදායක සාකච්ඡාව ය. එහෙත් එවැනි සාකච්ඡා මේ සමාජයේ තවමත් නැත. එයට ප‍්‍රධානම හේතුව, සර්වජන ඡන්දය ලැබී අවුරුදු 95 ට ආසන්න කාලයක් ගතවී තවමත් ”ඡන්දය” භාවිත කළ යුත්තේ කුමක් සඳහාදැයි මේ සමාජයේ සාකච්ඡා නොවීම බවයි කුසල් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ. මහජන මුදලින් වාර්ෂිකව රුපියල් මිලියන 1,620 ක් වැටුප් ලෙස ගෙවා පළාත් පාලන ආයතන නඩත්තු කෙරෙන්නේ, ”එම ප‍්‍රදේශය ඇතුළත ජනතාවගේ සුඛ විහරණය, පහසුව සහ සුභ සාධනය සහ සියලූ පහසුකම් ආරක්ෂා කිරීමට සහ ප‍්‍රවර්ධනය කිරිමටය”. ඡන්ද දායකයා එවැන්නක් ගැන නොසිතා ඡන්දය දුන්නේ නම්, දුෂණයෙන් තොර අවංක පාලනයක් පත් වූවත් සැළසුමක් නැති ඔවුන් නඩත්තු කිරීම වෙනුවෙන් මහජන මුදල් අපතේ යැවීමට, නාස්ති කිරීමට ඡන්ද දායකයා ද හවුල්වන බැව් පිළිගත යුතු බවයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ.
වැරදීම් ඔබේ අත්දැකීම් වැඩි කරන අතර අත්දැකීම් ඔබේ වැරදීම් අඩු කරයි.
ඔබ ඔබේ වැරදීම්වලින් ඉගෙන ගන්නේ නම් අනෙක් අය ඔබේ සාර්ථකත්වයෙන් ඉගෙන ගනු ඇත.
අබ්දුල් කලාම්