ශ්‍රී ලංකාවේ විගණකාධිපති ධූරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් මතු වී තිබේ.
දින කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරුන් දක්වා ඇති අදහස් අනුව ඊට හේතු වී ඇති කරුණු ගණනාවකි.
මේ වන විට විගණකාධිපති ධූරය දින 40කට අධික කාලයක් තිස්සේ පුරප්පාඩු වී පවතී.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මේ ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී දිගින් දිගට ම අදහස් පළ කළ අයෙකි.
ඔහු ඊයේ (මැයි 22) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක යෝජනා කර ඇති නිලධාරියා සම්බන්ධයෙන් ළබැඳියාවන් අතර ගැටුමක් පවතින බව ය.
"තාම විගණකාධිපතිවරයා පත් කරල නෑ. ඊයේ විගණකාධිපතිවරයාගේ පත්වීමේදී අපට ආරංචි විදිහට කන්ස්ටිටියුෂනල් කවුන්සිල් එකේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරල තිබුණ පුද්ගලයාගෙ නම රිජෙක්ට් වෙලා තියෙනව. අපි පෙරේදාත් ඊයේත් මේ සම්බන්ධයෙන් කතා කරල කිව්වා රාජ්‍ය විගණන සේවයේ ඉන්න ජ්‍යේෂ්ඨතම නිලධාරියා වෙනුවට කවුද මේ පත් කරන්න හදන පුද්ගලයා කියල. එතන අපි දැනුවත් වෙච්ච විදිහට සිද්ධ වෙලා තියෙන දේ තමයි, කන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් සම්බන්ධයෙන්. ළබැඳියාවන් අතර ගැටුමක් තියෙන්න පුළුවන්, පොටෙන්ෂල් එකක් තියෙන්න පුළුවන්, ඕන කෙනෙකුට එහෙම තියෙන්න පුළුවන්. එහෙම තියෙනකොට තමන්ට එහෙම තියෙනව කියල කියන්න ඕනෙ. අපිට ආරංචි වෙන විදිහට ඊයෙ ආපු පුද්ගලයා ඔඩිටර් ජෙනරල් වෙන්න හදපු පුද්ගලයා කියල නැහැ ඔහු පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඩිරෙක්ටර් කෙනෙක් විදිහට ආණ්ඩුවෙන් පත් කරල තිබුණා කියල. ඉතින් බලන්න කොච්චර කැමති ද? මේක. එහෙම කෙනෙක් කොහොම ද රටේ ප්‍රධාන විගණනය භාරව ඉන්නෙ? කන්ෆිල්ක්ට් ඔෆ් ඉන්ටරෙස්ට් එකක් තියෙනකොට අවුරුදු 7ක් හිරේ දාන්න පුළුවන් කියලා පත්තරේ ලිපි තියෙනකොට විගණකාධිපති වෙන්න හිටපු කෙනා ඇයි එහෙම කළේ? මේ වගේ කන්ෆිල්ක්ට් ඔෆ් ඉන්ටරෙස්ට් හැම තැනක ම තියෙනවා."
මැයි 21 වන දා පාර්ලිමේන්තුව අමතමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ, යෝජනා කර ඇති නිලධාරියා විගණන පළපුරුද්ද අඩු අයෙකු බව ය.
"දැන් කාව ද ඔඩිටර් ජෙනරල් විදිහට ගේන්න යන්නෙ? අර පෙට්‍රෝලියම් කෝපරේෂන් එකේ ඉන්න අධ්‍යක්ෂවරයෙක්ව. අවුරුදු 5යි එයාට ඔඩිටිං එක්ස්පීරියන්ස් තියෙන්නෙ. එයාව ගේන්න හදනව ඔඩිටර් ජෙනරල් හැටියට. මේ අත්දැකීම් නැති එක් කෙනෙක්, ජනාධිපතිතුමාගේ බැච් එකට පල්ලෙහා බැච් එකේ හිටපු කැලණිය කැම්පස් එකේ එක් කෙනෙක් ගේන්න හදනව. ඔය සිස්ටම් එක තමයි කලින් හිටපු අයත් කළේ. ඔච්චර පල්ලෙහාට වැටුණෙ නෑ කලින් හිටපු කට්ටිය."
මේ අතර, ඊයේ (මැයි 22) පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ප්‍රකාශ කළේ, "විගණකාධිපති දෙපාර්තමේන්තුවට හිතවතුන්" පත් කිරීමට උත්සහ කිරීම "ඉතා ම නිර්ලජ්ජිත උත්සහයක්" බව ය.
"රජයේ විගණකාධිපතිවරයා පත් කිරීම සම්බන්ධව ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු නම ව්‍යවස්ථාදායක සභාවෙන් ප්‍රතික්ෂේප වුණා දෙවෙනි වතාවටත්. මං හිතන්නෙ මේ රටේ හිටපු කිසි ම පාලකයෙක් විගණකාධිපති දෙපාර්තමේන්තුවට තමන්ගෙ හිතවතුන් දාන්න මීට කලින් කටයුතු කළා කියල අපි දන්න ඉතිහාසෙ නම් අහල නෑ. මේක ඉතා ම නිර්ලජ්ජිත උත්සහයක්."
මේ අතර, "වසර 30ක පළපුරුද්දක් සහිත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකු සිටියදී අත්දැකීම් අඩු තැනැත්තෙකු විගණකාධිපති ධූරයට පත් කිරීම" ප්‍රශ්නසහගත බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ අතර, මැයි 20 වන දා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ද පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව අදහස් පළ කළේ ය.
"අනුර දිසානායක මැතිතුමාලා අපි හැම දෙනා ම මේවට විරුද්ධව තමයි හැම දා ම කතා කෙරුවෙ. එතුමා ජනාධිපති වෙලා ඉන්න වෙලාවෙ අද එතුමාගෙ ආණ්ඩුව යටතේ තෙල් සංස්ථාවෙ අධ්‍යක්ෂ මණ්ඩලයෙ ඉන්න කෙනෙක්ව තමයි අද විගණකාධිපති විදිහට යෝජනා කරන්නෙ ආණ්ඩුව. මේක වැරදි යි. කරුණාකරල මේ වැරදි පූර්වාදර්ශය නැවත නැවතත් ගේන්න එපා."
කෙසේ වෙතත්, මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ඊයේ (මැයි 22) පාර්ලිමේන්තුවේදී ඉහත චෝදනාවලට ප්‍රතිචාර දැක්වීය.
ඔහු පෙන්වා දුන්නේ, "ළබැඳියාවන් අතර ගැටුම් හෙළිදරව් කිරීම වැදගත් වුවත්, ආචාරධාර්මික ක්‍රියා පිළිවෙත ඊට වඩා වැදගත් වන" බව ය.
ඉහත රජයයන් මගින් පත් කරන ලද කොමිෂන් සභාවල සාමාජිකයින් ඒවායේ තොරතුරු පිටස්තරයින්ට ලබා දුන් අවස්ථා ඇති බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය සහ ආර්ථික කටයුතු අමාත්‍යංශය භාර අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ අදහස් විමසීමට ද බීබීසී සිංහල සේවය උත්සහ දැරූ නමුත් එය සාර්ථක නොවී ය.
ඉදිරියේදී, ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට හැකි වුවහොත් මෙහි පළ කිරීමට අපේක්ෂා කරන්නෙමු.
විගණකාධිපති තනතුර පුරප්පාඩු වූයේ, 2025 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ 41 වන විගණකාධිපතිවරයා වූ චූලන්ත වික්‍රමරත්න විශ්‍රාම ගැනීමත් සමග ය.
ඔහු 2019 වසරේදී ධූරයට පත් කෙරුණු අතර, වසර 6ක සේවා කාලයකින් පසු සේවයෙන් විශ්‍රාම ගියේ ය.
ඒ අනුව, ඔහු විශ්‍රාම ගොස් දින 40කට වැඩි කාලයක් ගත වී තිබියදීත් මෙතෙක් 42 වන විගණකාධිපතිවරයා පත් කර ගැනීමට නොහැකි වී තිබේ.
පුරප්පාඩු වී ඇති විගණකාධිපති තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකුගේ නම නිර්දේශ කර තිබිණි.
එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කෙරිණි.
මෙම ගැටලුකාරී තත්ත්වය හමුවේ, මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපතිවරයාට වැඩබලන විගණකාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට මාස 6ක සේවා දිගුවක් ලබා දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.
විගණකාධිපති විසින් විගණකාධිපති දෙපාර්තමේන්තුව හරහා රාජ්‍ය අංශයේ ආයතනවල කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් සපයනු ලබන අතර පාර්ලිමේන්තුවට වාර්තා කරයි.
විගණකාධිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවේ, විධායකයේ සහ එහි සේවාදායකයන්ගේ අවශ්‍යතාවන් හා අපේක්ෂාවන් ඉටුකිරීමට මෙන් ම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සහ ගණන් දීමේ වගකීම සඳහා වටිනාකමක් එකතු කිරීමට අරමුණු කරයි.
එබැවින් මෙම ස්වාධීන සමාලෝචනය සියලු ව්‍යවස්ථාපිත සහ වෙනත් නෛතික අවශ්‍යතාවන්ට උචිතබව, එකඟබව හා අනුකූලබව සහ මෙභෙයුම්වල ආර්ථිකභාවය, කාර්යක්ෂමභාවය සහ එලදායීත්වය සහතික කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලැබේ.
විගණකාධිපතිගේ ස්වාධීනත්වය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති අතර, එහි 153 ව්‍යවස්ථාවෙහි දැක්වෙන පරිදි, ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය සහිතව ජනාධිපතිවරයා විසින් විගණකාධිපතිවරයා පත් කරනු ලබන අතර යථා පැවැත්මෙන් සිටිනා තාක් ස්වකීය ධූරය දරන්නේ ය.
රෝගාතුර විම, ශාරීරික හෝ මානසික දුර්වලතාව හෝ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමකින් අනතුරුව විගණකාධිපතිවරයා ධූරයෙන් ඉවත් කළ හැකි ය.
විගණකාධිපතිගේ වැටුප පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලැබිය යුතු බවත්, එසේ නිශ්චය කරන ලද වැටුප ඒකාබද්ධ අරමුදලට වැය බරක් වන බවත්, ඔහුගේ ධූර කාලය තුළ එකී වැටුප අඩු නොකළ යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 153 ව්‍යවස්ථාවෙහි තවදුරටත් දක්වා ඇත.
විගණකාධිපති කිසිදු අමාත්‍යාංශයක හෝ රාජ්‍ය නිලධාරියෙකුගේ හෝ අධීක්ෂණය යටතට නොගැනේ.
සටහන - කුමුදු ජයවර්ධන
බීබීසී සිංහල
උපුටා ගැනීම
බීබීසී සිංහල
දින 42ක් පුරා විගණකාධිපති ධුරය හිස් ව ඇත්තේ ඇයි?
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt