''පහුගිය අවුරුදු 20 ඇතුළත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කරලා බලද්දී මුල් කාල වලදී සාමාන්‍යය මාසික වර්ෂාපතනය සමහර මාස වලදී මිලිමීටර් 300ක් වගේ තිබුණට 2020 අවුරුද්දෙන් පස්සේ ඒක සමහර මාස වල මිලිමීටර් 500 වගේ වෙනකම් ඉහළ ගිහින් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. මේ තත්ත්වය 2024 අවුරුද්දෙත් වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක කෙලින්ම ලුණු නිෂ්පාදනයට බලපෑමක් එල්ල කරනවා'' යනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ භෝග විද්‍යාව පිලිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පැවසීය.
මේ දිනවල රටපුරා ජනතාවගේ වැඩි අවධානයක් හිමිවී තිබෙන ලුණු හිඟයට හේතුව දේශගුණික විපර්යාසය නිසා ඇතිවී තිබෙන වැසි තත්ත්වයේ වැඩි වීම ද යන්න පිළිබඳ බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.
එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ගත වු වසර කිහිපය තුළදී වැඩිම ලුණු නිෂ්පාදනයක් සිදුකරන හම්බන්තොට දිස්ත්‍රික්කයට අඛණ්ඩව වැසි ලැබෙන දින ගණනේ වැඩි වීමක් පෙන්නුම් කරන බවයි.
වාර්ෂිකව මෙරට ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 180,000ක් බව ලංකා සෝල්ට් සමාගමේ සභාපති ඩි. නන්දන තිලක බීබීසී සිංහල වෙත පැවසුවේය.
''වාර්ෂිකව ලංකාවේ ලුණු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 180,000ක්. එතැනින් මෙට්‍රික් ටොන් 120,000ක් මහජනතාවගේ ආහාර අවශ්‍යතාවයන් වෙනුවෙන් වගේ ම ඉතිරි මෙට්‍රික් ටොන් 60,000 අවශ්‍ය වෙන්නේ කර්මාන්ත කටයුතු වෙනුවන්.' ඔහු පවසයි.
මෙරට ලුණු අවශ්‍යතාවයෙන් සියයට 60ක වෙළෙඳපොළ අවශ්‍යතාවය සපුරනු ලබන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලේවාය තුනෙන් බව ලංකා සෝල්ට් සමාගමේ සභාපතිවරයා පැවසුවේය.
''ලංකාවේ හම්බන්තොට ලුණු ලේවාය තුනක් තියෙනවා. එකක් හම්බන්තොට මහා ලේවාය, පලටුපාන වගේම බුන්දල කියන ප්‍රදේශවල මේ ලේවායන් දෙකක් පිහිටලා තියෙනවා. මේ ලුණු ලේවායන්ගෙන් තමයි රටට අවශ්‍ය කරන ලුණු අවශ්‍යතාවයන් ගෙන් සියයට 60ක් සපුරන්නේ.''
''අපේ ලුණු නිෂ්පාදනය කරන්නේ කන්න දෙකකට. පළවෙනි කන්නය පෙබරවාරි මාසයේ ඉදලා අප්‍රේල් මාසය වෙනකම්. ඒකට අපි යල කන්නය කියලා කියනවා. මේ කන්නයේ අපි සාමාන්‍ය ලුණු අස්වැන්නක් තමයි ගන්නේ. මැයි මාසයේ ඇතිවෙන වැසි තත්ත්වයෙන් පස්සේ ජුනි මාසයේ ඉදලා සැප්තැම්බර් මාසය වෙනකම් මහ කන්නය. මේ කන්නයේදී තමයි අපේ ලේවායෙන් ලොකු ලුණු අස්වැන්නක් බලාපොරොත්තු වෙන්නේ." ඔහු පැවසීය.
ලුණු නිෂ්පාදනය කිරීමට අත්‍යවශ්‍ය සාධක කිහිපයක් පවතින බව ලංකා සෝල්ට් සමාගමේ සභාපතිවරයා පවසයි. ඔහු කියා සිටියේ ලුණු මිදීමට අවශ්‍ය මුහුදු ජලය සකසා ගැනීමේ අදියර තුන සඳහා අවම වශයෙන් මාස දෙකහමාරක පමණ කාලයක් ගත වන බවයි.
''ලුණු නිෂ්පාදනය කිරීමට මුහුදු ජලය, තද අව්ව, සුළඟ වගේම මැටි පොළොවක් තියෙන්න ඕන. මැටි පොළොවක් තියෙන්න ඕන කියන්නේ මුහුදු වතුර අපි පුරවන්නේ තටාක වලට. එතැනදී සාමාන්‍ය පොළොවේ වතුර පස් වලට උරා ගන්නවා. මැටි පොළොවක් තිබ්බොත් තමයි අපිට ලුණු නිෂ්පාදනය කරන්න අවශ්‍ය ක්‍රියාවලිය සිදුකරන්න පුළුවන් වෙන්නේ.''
''සාමාන්‍යයෙන් මුහුදු වතුර අරගෙන එකේ ලවණ සාන්ද්‍රණය කීයද කියලා අපි මුලින් ම පරික්ෂා කරලා බලනවා. මුහුදු වතුරේ ලුණු සෝඩියම් ක්ලෝරයිඩ්, කැල්සියම් කාබර්නේට් වගේ රසායනික ද්‍රව්‍ය ගොඩක් දියවෙලා තියෙනවා.''
''ලවණ සාන්ද්‍රණය බොර්මේ අගය අංශක 3.5ක් වගේ තියෙන මේ මුහුදු වතුර තමයි අපි පළවෙනි තටාකයට ගන්නේ. මේක අක්කර 300-400ක් වගේ විශාලයි. වඩදිය ක්‍රමයට වගේ ම නැත්නම් මුහුදෙන් වතුර පොම්ප කරලා තමයි අපි මේ වතුර පුරවන්නේ.''
''මේ පළවෙනි තටාකයේ වතුර අව්වට නිරාවරණය වෙලා තියෙන වෙලාවේදී හුළඟට ඒවා වාෂ්පීකරණය වෙන කොට වතුරේ තියෙන බොර්මේ අගය අංශක 8-9 ත් අතර අගයක් ගන්නවා. මේ මුහුදු වතුරේ තියෙන හුණු කොටස් වන කැල්සියම් කාබර්නේට් තටාකයේ අඩියේ තැම්පත් වෙනවා. එතකොට මුහුදු වතුරේ තියෙන එක අපද්‍රව්‍යයක් ඉවත් වෙලා ඉවරයි.''
''ඊට පස්සේ අපි දෙවැනි තටාකයට මේ වතුර අරන් යනවා. එතැනදිත් මේ වතුර අපි තවත් අව්වේ තබලා වාෂ්පීකරණය වෙන්න ඉඩ හරිනවා. එතැනදී මේ මුහුදු වතුරේ බොර්මේ අගය අංශක 14 ඉදලා 19 වෙන කොට කැල්සියම් සල්ෆේට් කියන රසායනය ඉවත් වෙනවා. ඊට පස්සේ අපි ඉතුරු වෙන වතුර ටික තුන්වෙනි තටාකයට අරන් එනවා. එතනින් තමයි ලුණු මිදෙන්න පටන් ගන්නේ.''
''03 වෙනි තටාකයට අරන් එන මුහුදු වතුර ටික බොර්මේ අගය අංශක 24.5ක් වෙනකම් අව්වේ තියලා තියෙනවා. ඒ අගය ආවට පස්සේ මේ වතුර අපි ලුණු මිදෙන පාත්ති වලට දාන්නේ. මේ අදියර 03ට විතරක් අඩුම තරමින් මාස දෙකහාමාරක් වගේ කාලයක් යනවා. එහෙම දාන වතුර ටික දවස් 35-40ත් අතර කාලයක් යද්දී ලුණු මිදෙන්නේ පාත්තිවල.''
''මෙහෙම වෙද්දී අර තියෙන වතුරවල ලුණු මිදිගෙන යද්දී ඒකෙ බොර්මේ අගය අංශක 29ට එහා යද්දී එකේ මැග්නීසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් සල්ෆේට් මිදෙන්න පටන් ගන්නවා. ඒවා අපි කෑමට ගන්නේ නැහැ. ඒවා තිත්තයි. අපි ඒ නිසා බොර්මේ අගය අංශක 29 වෙන්න කලින් වතුර ටික අයින් කිරීම කරනවා.''
''ලුණු මිදුණට පස්සේ අපි ඒවා කඩලා අරන් එනවා කර්මාන්ත ශාලාවට. මේ එන ලුණු වල මඩ එහෙම තියෙනවා. ඒ නිසා අපි මේ ලුණු කැට මිලිමීටර් 04ට කඩනවා. ඒ කඩන ලුණු බොර්මේ අගය අංශක 20-22 වගේ තියෙන මුහුදු වතුරෙන් සෝදනවා. සෝදලා තමයි අයඩින් මිශ්‍ර කරලා වෙළෙඳපොළට නිකුත් කරන්න කටයුතු කරන්නේ." සභාපතිවරයා පැහැදිළි කළේය.
මෙම වසරේ මේ දක්වා ලුණු නිෂ්පාදනය කිරීමට නොහැකි වූ බවත්, එයට ප්‍රධානතම හේතුව වුයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය බව ලංකා සෝල්ට් සමාගමේ සභාපති ඩි. නන්දන තිලක බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
''අපිට මේ අවුරුද්දේ මැයි මාසය වෙද්දී කිසිම ලුණු අස්වැන්නක් නිෂ්පාදනය කරන්න හැකියාවක් ලැබිලා නැහැ. ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පුරාවට හම්බන්තොට දිස්ත්‍රික්කයට ඇතිවෙලා තියෙන වැසි තත්ත්වය.''
''මේ අවුරුද්දේ ජනවාරි මාසයයේ මිලිමීටර් 168ක් වර්ෂාව ලැබිලා තියෙනවා. පෙබරවාරි මාසයේ 88.9ක්, මාර්තු මාසයේ 124.8ක් වගේ ම අප්‍රේල් මාසයේ දී මිලිමීටර් 128ක් වර්ෂාවක් වැහලා තියෙනවා.''
''මම මුලින්ම කිව්වනේ අපේ පළවෙනි ලුණු අස්වැන්න ගන්නේ යල කන්නයේදී කියලා. එතකොට මේ වැටෙන වැස්ස එක්ක මේ අවුරුද්දේ යල කන්නයක් කරන්න ලැබුණේ නැහැ. මැයි 19 වෙනකොටත් මේ වහිනවා. උදාහරණයක් විදිහට අපිට වැස්ස නතර කරන දවසේ ඉදලා දවස් 40ක් බලන් ඉන්න වෙනවා ලුණු හදන්න.''
''මේ තත්ත්වය එක්ක බලද්දී අපිට තව කාලයක් බලන් ඉන්න වෙනවා ලුණු නිෂ්පාදනය අරඹන්න. මේ අවුරුද්ද ඉතාම බරපතලයි. මේ වගේ තත්ත්වයක් අපිට ඇතිවෙලා තියෙන්නේ අවුරුදු 20 කින්. ලුණු ගන්න බැරි තරම් වර්ෂාවෙන් බාධා එල්ල වෙලා තියෙන්නේ.''
''මේ වගේ තත්ත්වයක් 2005, 2011, 2015 වගේම 2017 කියන අවුරුදු වලදී ඇතිවෙලා තියෙනවා. මොකද ඒ අවුරුදු වලදීත් වැස්ස නිසා ලුණු නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා මැයි මාසය වෙනකම්.''
''2023 අවුරුද්දේ මැයි මාසය වෙනකම් වැස්සත් අපිට පුළුවන් වුණා ලුණු මෙට්ට්‍රික් ටොන් 94,000ක අස්වැන්නක් අර ගන්න. හැබැයි 2024 අවුරුද්දේ අපිට ගන්න හැකියාව ලැබුණේ ලුණු මෙට්ට්‍රික් ටොන් 40,669ක් විතරයි.''
''ගිය අවුරුද්දේ ලුණු හිඟයක් ගැන ලොකුවට බලපෑමක් ආවේ නැත්තේ 2023 අවුරුද්දේ නිෂ්පාදනයන් අපිට තිබ්බ නිසා. නමුත් 2025 අවුරුද්ද උදා වෙනකොට අපිට තිබුණේ ලුණු මෙට්ට්‍රික් ටොන් 10,000ක් විතරයි.
මේ අවුරුද්දේ අපේ ඉලක්කය ලුණු මෙට්ට්‍රික් ටොන් 100,000ක් වුනාට තව ම අපි ලුණු නිෂ්පාදනය කරන්න පටන් අරගෙන නැහැ.'' ඔහු පැවසුවේය.
ගත වූ වසරේදී ලුණු නිෂ්පාදනය කිරීම අවම මට්ටමකට පැමිණීම සම්බන්ධයෙන් කල් තියා හඳුනා ගැනීමක් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය ලංකා සෝල්ට් සමාගමේ සභාපතිවරයාගෙන් විමසීමක් කළේය.
ඊට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ දෙසැම්බර් මාසය වන විට ලුණු හිඟයක් ඇතිවන බවට පුරෝකථනයක් සිදුකළ බව සහ ඒ අනුව පෙබරවාරි මාසයේදී ලුණු ආනයනය කිරීමට රජය කටයුතු කළ බවයි.
''දෙසැම්බර් මාසය වෙද්දී රටේ ලුණු හිඟයක් ඇතිවනවා කියලා අපි පුරෝකථනය කරලා රජය තීරණය කළා පෙබරවාරි මාසය වෙන කොට ලුණු මෙට්ට්‍රික් ටොන් 30,000ක් ආනයනය කරන්න. ඒ අනුව ගෙනාපු ලුණු තොගය සියලුම කර්මාන්තකරුවන්ට බෙදා දුන්නා වගේම ඒවා වෙළෙඳපොළට නිකුත් කළා.''
''අපි බලාපොරොත්තු වෙලා හිටියා මාර්තු මාසය වෙද්දී ලුණු නිෂ්පාදනය කරන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා පාත්ති එහෙම හදලා ලුණු නිෂ්පාදනය කරන්න පටන් ගත්තත්, ආපහු අප්‍රේල් මාසයේදී වැස්ස පටන් ගත්තා. මේ නිසා ලුණු නිෂ්පාදනය කරන්න බැරි වුණ නිසයි ආපහු ලුණු ආනයනය කරන්න රජය පියවර ගත්තේ.' සභාපතිවරයා පැවසුවේය.
ශ්‍රී ලංකාවෙන් පිටත දේශගුණික පරාමිතික වෙනස්කම් හේතුවෙන් මෙරටට ලැබෙන මෝසම් වැසි තත්ත්වයේ අඩු වැඩි වීමක් දකින්නට ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ අනාවැකි අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.
බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ කෙටි කාලයක් තුළදී වැඩි වර්ෂාපතනයක් ලැබීමේ තත්ත්වයක් ද කාලගුණ බලධාරීන් විසින් නිරීක්ෂණය කරන බවයි.
''සාමාන්‍යයෙන් අපේ මෝසම් වැසි තත්ත්වයන් දෙකක් තියෙනවා. ඒ අතරේදී අන්තර් මෝසම් වැසි තත්ත්වය ඇති වෙනවා. නමුත් වැසි තත්ත්වයන් වලදී කෙටි කාලයක් ඇතුළත අධික වැසි තත්ත්වයක් ඇතිවෙනවා කියලා අපි නිරීක්ෂණය කරලා තියෙනවා. කෙටි කාලයක් තුළ දී තද වැසි ඇතිවන තත්ත්වය වැඩියි.''
''ශ්‍රී ලංකාවේ කළාපයෙන් පිටත සිදුවන දේශගුණික පරාමිතික නිසා මෙරටට ලැබෙන මෝසම් වැසි ප්‍රමාණයේ අඩු වැඩි වීමක් දකින්න පුළුවන් කමක් තියෙනවා. විශේෂයෙන් පැසිෆික් මුහුදේ සාගරය මතුපිට උෂ්ණත්වය නිසා ඇතිවන එල්නීනෝ සහ ලා නීනා තත්ත්වය මේකට බලපානවා. ඒ වගේම ඉන්දියන් සාගරයේ උතුරු සහ දකුණු දෙපස තියෙන සාගර උෂ්ණත්වය ඉහළ පහළ යාමේ තත්ත්වයත් මේ තත්ත්වයට බලපානවා." ඔහු පැවසුවේය.
වැඩිම ලුණු ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරෙන හම්බන්තොට දිස්ත්‍රික්කයට කාලගුණ විපර්යාසය නිසා යම් බලපෑමක් එල්ල වී තිබේද යන්න පිළිබඳව බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දෙමින් බටහිර ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යාව පිළිබඳ මහාචාර්ය චරිත පට්ටියආරච්චි කියා සිටියේ ගතවූ වසර 20ක කාලය තුළදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ෂාපතන අගයන් සංසන්දනය කරන විට 2023 වසරේ සිට වර්ෂාව ලැබීමේ අගය වැඩි වී ඇති බවයි.
''පළවෙනි අවුරුදු 10 ඇතුළත වැස්ස සාමාන්‍ය විදිහට තිබුණත් 2023 අවුරුද්දෙන් පස්සේ වර්ෂාපතනය දෙගුණයක් වෙලා තියෙනවා. මේ අවුරුදු දෙක ඇතුළත වැස්ස වැඩි වීම දේශගුණික විපර්යාසයක් ද කියලා කෙලින්ම කියන්න බැහැ. මේකට හේතුව දේශගුණික විපර්යාසයක් ද කියන්න තවත් දත්ත විශ්ලේෂණය කරන්න අවශ්‍ය වෙනවා.''
''පහුගිය අවුරුදු 20 කාල සීමාවේදී වැඩි ම වර්ෂාපතනයක් ලැබිලා තියෙන්නේ 2023 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ ඉදලා දෙසැම්බර් වෙනකම් කියන කාල සීමාවේදී. නමුත් පහුගිය අවුරුදු 05දී හම්බන්තොට දිස්ත්‍රික්කයට ලැබෙන වර්ෂාවේ වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒක මේ ලුණු නිෂ්පාදනයට බලපානවා කියලා කියන්න පුළුවන්." මහාචාර්ය චරිත පට්ටියආරච්චි පැවසුවේය.
මේ අතර බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, දේශගුණික විපර්යාසය පිළිබඳ පරිසර අමාත්‍යාංශයේ ජාතික අනුහුරුවීමේ විශේෂඥ කමිටුවේ හිටපු සභාපති සහ වත්මන් සාමාජික මහාචාර්ය බුද්ධි මාරඹේ කියා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ගතවූ අවුරුදු 05ක පමණ කාලයක සිට අඛණ්ඩව වැසි ලැබෙන දින ගණන ක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි.
''පහුගිය අවුරුදු 20 ඇතුළත හම්බන්තොට දිස්ත්‍රික්කයේ වර්ෂාපතන දත්ත විශ්ලේෂණය කරලා බලද්දී මුල් කාල වලදී සාමාන්‍යය මාසික වර්ෂාපතනය සමහර මාස වලදී මිලිමීටර් 300ක් වගේ තිබුණට 2020 අවුරුද්දෙන් පස්සේ ඒක සමහර මාස වල මිලිමීටර් 500 වගේ වෙනකම් ඉහළ ගිහින් තියෙනවා කියලා පෙන්නුම් කරනවා. මේ තත්ත්වය 2024 අවුරුද්දෙත් වාර්තා වෙනවා. ඒ කියන්නේ මේක කෙලින්ම ලුණු නිෂ්පාදනයට බලපෑමක් එල්ල කරනවා කියලා.''
''සාමාන්‍යයෙන් අපි කියනවා තෙත් කාල තවත් තෙත් වෙනවා, වියළි කාලවල් තවත් වියළි වෙනවා කියලා අනාගතයේදී. නමුත් වර්තමාන තත්ත්වය වෙනකොට එක දිගට වියළි කාලයන් වාර්තා වීම අඩු වෙනවා කියලා පෙන්නුම් කරනවා. ඒ වගේම මෑත අවුරුදු වලදී එක දිගට වැසි තත්ත්වය වැඩි වීමක් පෙන්නුම් කරනවා. ඒක මේ ලුණු නිෂ්පාදනයට බලපෑමක් එල්ල වෙනවා.'' යනුවෙන් හෙතෙම පැහැදිළි කළේය.
"මේක බලපාන්න තියෙන සම්භාවිතාව වැඩි කියන එක පහුගිය කාලවලදී පැහැදිලිව පේනවා ලුණු නිෂ්පාදනයට බාධා ඇති වුණු කාලවලදී වර්ෂාපතනය වගේම වර්ෂාපතන රටාව බලද්දී. ඉදිරියේදී එක දිගට දින ගණනක් වැසි තත්ත්වය වාර්තා වෙන එක තවත් වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා ලුණු නිෂ්පාදනය සම්බන්ධයෙන් ගන්න ඕන පියවර මොනවාද කියන එක ගැන තොරතුරු සොයා බලන්න අවශ්‍ය බලධාරීන් සාකච්ජා කරන එක හොදයි. ලුණු පොල් කට්ටට හෙන ගහනවා කියන එක අපි දකින්නේ හොඳ දෙයක් විදිහට නෙමෙයි කියලයි ගම්වල මතය වෙන්නේ. තාක්ෂණිකව ලුණු නිෂ්පාදනයේ සිදුකරන්න ඕන වෙනස්කම් ගැන කතා කරලා ඒ ගැන ඉක්මණින් පියවර ගන්න එක වැදගත් වෙනවා. මෙතැනදී ඒ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයින් ඒකාබද්ධ පියවරක් ගන්න අවශ්‍යයි." ඔහු පැවසුවේය.
මේ අතර පවතින තත්ත්වය හේතුවෙන් හම්බන්තොට, බුන්දල සහ පලටුපාන යන ලුණු ලේවායන් හි සේවය කරන නිත්‍ය සේවයේ නොමැති කම්කරුවන් දහසකට ආසන්න පිරිසකට රැකියා අහිමි වී ඇති බව ලංකා සෝල්ට් සමාගමේ වෘත්තීය සමිති නියෝජිතයෙක් බීබීසී සිංහල වෙත පැවසුවේය.
සිය අනන්‍යතාවය ආරක්ෂා කරන ලෙස ඉල්ලමින් එම වෘත්තීය සමිති නියෝජිතයා කියා සිටියේ නිත්‍ය සේවයේ නොමැති කම්කරුවන් මෙන්ම නිත්‍ය සේවයේ සිටින සේවකයින්ට ද මේ වන විට උද්ගතවී ඇති තත්ත්වය සමග ආර්ථිකමය වශයෙන් දැඩි බලපෑමක් එල්ලවී තිබෙන බවයි.
''මේ අවුරුද්දේ කිසිම වැඩක් කරන්න ලැබුණේ නැහැ වැස්සත් එක්ක. සාමාන්‍යයෙන් ලුණු පාත්තිවල වැඩ කරන කම්කරුවන්ගේ ඉදලා ලුණු කඩන කාලයට අවට තියෙන ෆැක්ටරිවල වැඩකරන අය පවා එනවා මෙහෙට. නමුත් අද වෙනකොට ඒ කාටවත් රැකියාවල් නැහැ. මේ හැමෝම දවස් පඩියට වැඩ කරන්නේ. ඒ මිනිස්සු අසරණයි.''
''ඒ වගේමයි මේ ස්ථිර සේවයේ ඉන්න අයට ලුණු අස්වැන්න නෙළන කාලයට අතිකාල දීමනාවක් ලැබෙනවා. ඒවත් නැහැ. හැමෝම ඉන්නේ ගොඩක් අමාරුවෙන් ආර්ථික අතින් ගත්තම. සෘජුව ගත්තම මේ තත්ත්වය පවුල් 1500 කට වගේ බලපාලා තියෙනවා මේ වෙනකොට.''
''මේ වැසි තත්ත්වය අද ඊයේ ඉදලා නෙමෙයි 2023 අවුරුද්දේ වගේම ඊට කලිනුත් අවස්ථා කිහිපයකදී බලපාලා තියෙනවා.'' යනුවෙන් එම වෘත්තීය සමිති නියෝජිතයා පැවසුවේය.
"සාමාන්‍යයෙන් මාසයකට ලංකාවට අවශ්‍ය වෙන්නේ ලුණු මෙට්‍රික් ටොන් 15,00ක් වගේ. ලුණු හිඟයක් ගැන කතාවෙන නිසා මිනිස්සු මාස 04 කට 05කට අවශ්‍ය කරන ලුණු ගෙවල් වලට අරන් ගියා. මේ නිසා ඇතිවන වෙළෙඳපොළ හිඟය පියවන්න එකපාරම අපිට අමාරුයි. මේ තත්ත්වය නිසයි ඉන්දියාවෙන් ලුණු ගෙන්න තීරණය කළේ.'' යනුවෙන් ලංකා සෝල්ට් සමාගමේ සභාපතිවරයා අප වෙත පවසා සිටියේය.
''ජාතික ලුණු සමාගමට මෙට්‍රික් ටොන් 20,000ක්, ලංකා සෝල්ට් සමාගමට මෙට්‍රික් ටොන් 10,000ක්, ධීවර අමාත්‍යංශයට මෙට්‍රික් ටොන් 10,000ක් ගේන්න අවසර හිමිවුණා. ඊට අමතරව පෞද්ගලික අංශයට ජුනි 10 වැනිදා වෙනකම් ලුණු ආනයනය කරන්න අවසර දුන්නා. එතැනදී කොච්චර ලුණු ප්‍රමාණයක් රටට ගේනවද කියලා අපි දන්නේ නැහැ.''
''අපි ගෙන්වන ලුණු වල සාම්පල් විද්‍යාගාර පර්යේෂණ වලට යවලා තියෙන්නේ. මේ සතිය අවසන් වෙන්න කලින් අපි ලුණු ලංකාවට ගේන්න පුළුවන්." ලංකා සෝල්ට් සමාගමේ සභාපතිවරයා පැවසීය.
මේ අතර අද (මැයි 21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ කියා සිටියේ ලුණු හිඟයට පිළියම් ලෙස ආනයනය කරන ලද ලුණු තොග අද වන විට මෙරටට පැමිණ ඇති බව ය.
"පෞද්ගලික ආනයනකරුවන් විසින් ගෙන්වපු ලුණු කන්ටේනර් විසිපහක් අද වෙද්දී වරායට ඇවිල්ලා ඉවරයි. ඒ වගේම නැෂනල් සෝල්ට් සමාගමේ පළමු ලුණු තොගය අද රෑ වෙද්දී ලංකාවට එනවා. සමහර අය ලුණු මාෆියා හදනවා. මේ වන විට ලුණු මාෆියාව අවසන් කර තිබෙනවා." අමාත්‍යවරයා පැවසීය.
සටහන - දිනුක් හේවාවිතාරණ, හම්බන්තොට සිට
බීබීසී සිංහල
උපුටා ගැනීම - බීබීසී සිංහල
ලුණු හිඟය: වර්ෂාපතන රටා වෙනස්වීම ලුණු නිෂ්පාදනයට බලපා තිබේ ද? දත්තවලින් හෙළිවන්නේ මොනවා ද?
ඔබේ කැමැත්තෙන් තොරව
කිසිවෙකුට
ඔබව
පහත් යැයි
හැඟවීමට නොහැකිය.
No one
can make you feel
inferior
without your consent.
Eleanor Roosevelt