Lanka You News
සරසවි සිසුවාගේ මරණය ගැන පොලීසිය විමර්ශන අරඹයි
ජාත්‍යන්තර කම්කරු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

ජාත්‍යන්තර කම්කරු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට රජය සමත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

 

මැයි දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සමාජයේ විවිධ වෘත්තීන් නියෝජනය කරන සියලු පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට රජය විසින් කටයුතු කර ඇති බවය.

 

ජනාධිපතිවරයාගේ කම්කරු දින පණිවුඩය වැඩිදුරටත් මෙසේය.

 

ශ්‍රී ලංකාවේ වැඩකරන ජනයා ප්‍රමුඛ පොදු ජනතාව මෙවර ජාත්‍යන්තර කම්කරු දිනය සමරන්නේ මෙරට දූෂිත, ප්‍රභූ දේශපාලනය අවසන් කර ජනතාවාදී පාලනයක් තුළ රටත්, සමාජයත් ගැඹුරු සාධනීය පරිවර්තනයකට ලක් කරමින් තිබෙන අවස්ථාවකය. පවුල් සහ පරම්පරා කිහිපයක් 76 වසරක් පුරා තට්ටු මාරු ක්‍රමයට ගෙන ගිය දූෂිත පාලනය නිමා කර මෙරට දේශපාලනයේ සුවිශේෂී හැරවුමක් සනිටුහන් කිරීමට ඉකුත් ජනාධිපතිවරණයේදී සහ මහමැතිවරණයේදී ජාති, ආගම් භේදයකින් තොරව මෙරට සිව් දෙස ජනතාව විසින් කටයුතු කරනු ලැබිණි.

 

එකී ජනවරමේ අපේක්ෂා සාක්ෂාත් කරමින් මේ වන විට රට ආර්ථික, සාමාජයීය සහ දේශපාලන වශයෙන් පුළුල් පරිවර්තනයකට ලක් කිරීමට ජාතික ජන බලවේගයේ අපි කටයුතු කරමින් සිටින්නෙමු.

 

දුෂිත, ප්‍රභූ දේශපාලන ක්‍රමය තුළ පතුලටම ඇද දමා තිබූ මෙරට ආර්ථිකය යළි ඉහළට ඔසවමින් ස්ථාවර ආරම්භයක් ලබා ගැනීමට මේ වන විට අපි සමත් වී සිටිමු.

 

එහි පැහැදිලි සංඥාවන් දැනටමත් සියලුදෙනාට පෙනෙන්නට තිබේ.

 

රජයේ පළමු අයවැයේදීම ඉතිහාසයේ කිසි දා නොවූ අයුරින් රාජ්‍ය සේවකයන්ගේ අවම වැටුප සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ නැංවීම ඇතුළු ගොවි ජනතාව, ධීවර ජනතාව,තරුණයින්, කාන්තාවන්, සිසුන් පමණක් නොව නිෂ්පාදකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, විවිධ වෘත්තීන්හි නිරත වන්නන් ආදී සමාජයේ සියලුදෙනා වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීමට අපි කටයුතු කර ඇත්තෙමු.

 

එසේම වතුකරයේ කම්කරු ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීමට හා ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කිරීමටද අපි කටයුතු කරමින් සිටිමු.

 

දිනෙන් දින අලුත් වන නිෂ්පාදන බලවේගවලට සමගාමීව අප භුක්ති විඳින අයිතිවාසිකම්හි නව පරිච්ඡේදයක අවශ්‍යතාව අපි දකිමු.  1948 මානව හිමිකම් න්‍යාය පත්‍රයේ නොතිබූ, ඩිජිටල් ප්‍රවේශ අයිතිවාසිකම්, පාරිසරික අයිතිවාසිකම් ආදියද ඇතුළත්ව වෙනස් වන දේශපාලන පද්ධතින්හි මතු වීම සහ ලෝක සාමය තහවුරු කරමින්, නව සංවර්ධන අවශ්‍යතා මත පදනම්ව මානව හිමිකම් පිළිබඳ යාවත්කාලීන වූ විශ්ව ප්‍රකාශනයක අවශ්‍යතාව වත්මන් සමාජය ඉල්ලා සිටී.

 

ඒ පිළිබඳව සංවේදී වීම සහ මැදිහත් වීමේ අවශ්‍යතාවද ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ අවස්ථාවේ අපි යළි සිහිපත් කරමු.

 

ජාත්‍යන්තර භූ දේශපාලනික වෙනස්කම් සහ අභියෝග හමුවේ නොසැලෙන ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් වෙහෙසෙන මෙරට වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කරමින් හා ප්‍රවර්ධනය කරමින් දූෂිත ප්‍රභූ දේශපාලනය බිද හෙළූ මෙරට ආර්ථිකය ප්‍රකෘතිමත් කර “ලස්සන ජීවිතයක් සහ පොහොසත් රටක්” නිර්මාණය කිරීමට සහෝදරත්වයෙන් එක්ව පොර බැඳීමට මෙරට ආදරණීය වැඩකරන ජනතාවට ආරාධනා කරමින්, වැඩ කරන ජනතා අයිතින් සුරක්ෂිත කෙරෙන අර්ථවත් වූ ජාත්‍යන්තර කම්කරු දිනයකට ශුභාශිංසන එක් කරමි.

දවසේ නුවණැස

“ඔබ දණහිසින් සිටින තාක් කල් ප්‍රබලයෝ ප්‍රබලයෝමය.  

දෙපයින් නැගිට බලන්න”

“The great are only great because we are on our knees. Let us rise”

 

Pierre Joseph Proudhon