Lanka You News
මැතිවරණ අපේක්ෂකයෙකුට වෙඩි තැබීමක්
ජනපතිගේ කතාවට හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙකුගෙන් දොස්

ජනපතිගේ කතාවට හිටපු ආණ්ඩුකාරවරු තිදෙනෙකුගෙන් දොස්

යම්කිසි පළාත් පාලන ආයතනයක බලය ජාතික ජන බලවේගයට හිමිනොවුණහොත් එම ප‍්‍රාදේශීය සභාවල සංවර්ධන ව්‍යාපෘතිවලට මුදල් ලබානොදී ඒවා කොන් කරන බවට ජනාධිපතිවරයා පසුගියදා කළ ප‍්‍රකාශය පිළිබද හිටපු ආණ්ඩුකාරවරුන් වන රංජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත්කර තිබේ. පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීමට එනම්, ආණ්ඩුවට බලය හිමි නොවන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කිරීමට ජනාධිපතිවර‍යාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරවරයකුට හැකියාවක් හෝ කිසිදු අභිමත බලයක් නොමැති බවයි ඒම හිටපු ආණ්ඩුකාරවරුන් අවධාරණය කරන්නේ. එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ ජනාධිපතිවරයා කළ එම ප්‍රකාශය තනිකරම දේශපාලන බලහත්කාරයක් බවත් එක් වතාවක් නොව, මන්නාරම පැවති ජන රැළියකදී දෙවන වරට ද මෙම ප්‍රකාශය සිදු කර ඇති බවත්, එය ඡන්ද දුෂණයක්, ජනතාව නොමඟ යැවීමක්, මෙන්ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බවයි. අදාළ නිවේදනයේ මෙසේ ද සදහන් වේ. උපුටා ගැනීම ජනතා ඡන්දයෙන් තේරී පත් කර ගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පළාත් ආණ්ඩුකරණයේ නිදහස පැවතිය යුතු ය. විපක්ෂයේ සිටිය දී පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මගින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැදී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. බහුතරයක් පළාත් පාලන ආයතන වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමණි. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය සහ මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන මගින් උත්පාදනය කරන ආදායම් වේ. පළාත් පාලන ආයතනවලට 1. ස්වයං උත්පාදන ආදායම් සහ 2. ⁠අයකර ගත හැකි ගාස්තු ලබාගත හැකි ය. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා මෙන් ම ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය. පළාත් පාලන ආයතනවලට අය කර ගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත්වලින් ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛණය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛණය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවන උපලේඛණවල ඒවා නීතිගත කර ඇත. එම මුලික නීතියට අනුව පළාත් පාලන ආයතනවලට හිමි මුදල් අවහිර කළ නොහැකි ය. තව ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වන සංශෝධනයේ 9 උපලේඛණයේ 4.3 වගන්තිය අනුව ද මේ බලය අහිමි කිරීම පළාත් සභාවටත් නොහැකි ය. ජාතික ජන බලවේගය විසින් මුද්‍රණය කර බෙදා හරිනු ලබන අත් පත්‍රිකාවේ ‘ප්‍රාදේශීය සභාවට ප්‍රතිපාදන ලැබෙන්නේ පවතින රජයෙනි. ප්‍රාදේශීය සදභාවේ වෙනත් පක්ෂයක් බලයට පත් වුවහොත් ...........’ ලෙස දැක්වේ. මෙය පට්ටපල් බොරුවකි. කෙප්පයකි. ප්‍රචාරණයට අදාළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. ප්‍රාදේශීය ආණ්ඩු පිහිටුවන්නේ ජනතා ඡන්දයෙනි. එහි නියෝජිතයින්ට ඇති බලය කැබිනට් අමාත්‍යවරුන්ට හෝ නැත. මහජන ඡන්දයෙන් පත්වන කිසිදු ආයතනයකට මුල්‍ය අවහිරතා ඇති කිරීමට කිසිදු ශිෂ්ට පාලකයෙකුට හැකියාවක් නැත. පළාත් පාලනය යනු ජනතාවගේ එදිනෙදා ජීවිතයට වැදගත්ම පහසුකම් ඉටු කරන ස්ථානය යි. එය දේශපාලනයෙන් නිදහස් විය යුතු අතර, ජනතා සෙත සැලසීම සඳහා ම පමණක් විය යුතු ය. පාර්ලිමේන්තුවේ බලය හිමි කණ්ඩායම පළාත් ආණ්ඩුවේ බලය ද හිමිකර ගත යුතු ය යන්න අශිෂ්ට දේශපාලන ව්‍යවහාරයකි; ජනතා පරමාධිපත්‍ය උල්ලංඝනය කිරීමකි. යම් පළාත් පාලන ආයතනයකට හිමි මුද්දර බදු සහ වෙනත් අරමුදල් අවහිර කිරීමක් සිදුවන්නේ නම් එය සිදු කරන නිලධාරියාට එරෙහිව රිට් ආඥාවක් ලබා ගැනීමේ හැකියාව පවතී. උපුටා ගැනීම අවසන්.

දවසේ නුවණැස

ලෝකය වෙනස් කිරීමට භාවිත කළ හැකි බලවත්ම

යුධය අධ්‍යාපනයයි.


Education is the
most powerful
weapon which you can
use to change the world.


Nelson Mandela