
ඔන්ලයින් පනත අවලංගු කරන්න රවී ගෙනා පනත් කෙටුම්පත ගැසට් කෙරේ
2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු කිරීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ඉදිරිපත් කර ඇති පෞද්ගලික මන්ත්‍රී යෝජනාව ගැසට් කර තිබෙනවා.
ඒ අනුව, ඉදිරි කාලසීමාව තුළ මෙම පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට නියමිතයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක විසින් මාර්ගගත ආරක්ෂාව පිලිබද පනත (Online safety Act) අහෝසි කිරිමට පෞද්ගලික මංත්‍රී පනත් කෙටුම්පතක් පසුගියදා පාර්ලිමේන්තු මහලේකම් වෙත භාර දී තිබිණි. ඒ සඳහා නීතිපති නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් භාෂා ත්‍රිත්වයෙන්ම පනත් කෙටුම්පත ගැසට් කර ඇත.
එම නව පනත සම්මත වුවහොත් දැනට ක්‍රියාත්මක 2024 අංක 09 දරණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත අවලංගු වන බව අප්‍රේල් මස 04 වනදා දිනයෙන් රජයේ මුද්‍රණාලය විසින් ප්‍රකාශයට පත්කළ ගැසට් නිවේදනයේ සඳහන්.
එමෙන්ම, ඊට අදාළ කිසියම් රෙගුලාසියක් වේ නම් එම සියලු රේගුලාසි ද අහෝසි වනු ඇති.
පසුගිය සමයේ මහත් ආන්දෝලනයක් ඇති කල මාර්ගගත ආරක්ෂාව පිලිබද පනත අහෝසි කරන බවට ජාතික ජන බලවේගය විසින් මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබුණි. නමුත් ඒ සදහා ක්‍රියාත්මක වැඩපිලිවෙලක් නොමැති බව නීරීක්ෂණය වු බැවින් තමා විසින් ඒ සම්බන්ධයෙන් වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවසුවේ. ඒ සදහා නීතිපති නිරීක්ෂණ ලැබීමෙන් අනතුරුව ඉක්මනින් ගැසට් කිරීම පිළිබඳ සතුටුවන බව ඔහු ප්‍රකාශ කලේය.
මේ තුලින් සමාජ මාධ්‍ය තුල අදහස් ප්‍රකාශ කිරිමේ නිදහස නැවත ඇති කිරිම ප්‍රධාන අපේක්ෂාව බවද මන්ත්‍රීවරයා පැවසිය.
2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සම්මත කරගනු ලැබුවේ, පසුගිය 2023 වසරේ, එවකට පැවති රනිල් වික්‍රමසිංහ රජය විසිනි.
එවකට මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. එමගින් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද කොමිෂන් සභාව පිහිටුවීමටද යෝජනා කර තිබුණි.
මෙම පනත සම්මත වීමෙන් පසුව පාර්ශව රැසකින් ඊට විරෝධය පළවූ අතර, පසුගිය ජනාධිපතිවරණයේදීත්, මහමැතිවරණයේදීත් වත්මන් ආණ්ඩව ඇතුලු පාර්ශව කිහිපයක් එය අහෝසි කරන බවට ප්‍රතිඥා ලබා දුන්නේය.
මෙවැනි පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු නීිති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් එය පනත් කෙටුම්පතක් ලෙස සකස් කර ගැසට් කිරීම සදහා රජයේ මුද්‍රණාලය වෙත යොමු කිරීම ක්‍රමවේදයයි.
ඉන් අනතුරුව එය පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමෙන් පසු පනතක් ලෙස බලාත්මක වේ.