දශක තුනකට අධික කාලයක් පැවති යුද්ධය අවසන් කරමින් ලැබූ ජයග්‍රහණය සැමරෙන ජාතික රණවිරු සැමරුම් උත්සවය සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ බත්තරමුල්ල, රණවිරු ස්මාරකය අභියස දී අභිමානවත් අයුරින් පැවැත්විණි.
සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒහිදී සදහන් කළේ, මෙම සැමරුම යුද්ධය අවසන් කිරීමේ ඓතිහාසික සැමරුමක් මෙන්ම යළි අපේ රටේ යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්,මැලේ සියලු ජනතාව එක රටක් තුළ සමගියෙන්, සහෝදරත්වයෙන් මේ රට ගොඩනැඟීම සඳහා පොරබදන මොහොතක්ද වන බවයි.
ජනාධිපතිවරයා ඒහිදී වැඩිදුරටත් සදහන් කළේ,
මෙම වසර ගණනාවක යුද්ධය අවසන් කිරීම සඳහා අපේ සොල්දාදුවන් විශාල පිරිසක් ජීවිත පරිත්‍යාග කළා. මෙම පුවරුව පිරෙන්න ඔවුන්ගේ නම් තිබෙනවා. මේ පුවරුවලින් පෙන්නුම් කරන්නේ යුද්ධය අවසන් කිරීම සඳහා ඔවුන් සිදු කරන ලද කැපවීමයි. ඒ වගේම සොල්දාදුවන් විශාල ප්‍රමාණයක් සදාකල් ආබාධිත තත්ත්වයට පත් වුණා. අදත් අප අතර ජීවත් විය යුතු විශාල පිරිසක් යුද්ධය අවසන් කිරීම සඳහා සිය ජීවිතය පරිත්‍යාග කළා. තවත් පිරිසක් තමන්ගේ ඇස්, අත්, පා ශරීර අවයව සියල්ල පරිත්‍යාග කළා. එපමණක් නොවෙයි, ඔවුන්ගේ ඥාතීන්, මිතුරන්, දෙමාපියන්, බිරින්දෑවරු, ස්වාමියා ඇතුළු සියලුදෙනා මේ යුද්ධය අවසන් කිරීම සඳහා කරන ලද මහා ව්‍යායාමයේදී විශාල කැපකිරීමක් සිදු කළා. මා හිතනවා රටක් ජාතියක් ලෙස අපි සැමදෙනා සැමදා ඔවුන් අනුස්මරණය කළ යුතුයි. මේ රට හැමදාමත් ඔවුන්ට ණයගැතියි. ඒ පිළිබඳව ඉතාමත් භක්තිමත් බැඳීමක් ඔවුන් සහ අප අතර තිබෙනවා.
යුද්ධය යනු ඛේදවාචකයක්. එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත්වන අපගේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් රට තුළ ඇතිවීම වැළැක්වීමයි. යුද්ධ කරන රටක් වෙනුවට ගැටුම් ඇති නොවන, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැඳීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි.
දකුණේ පමණක් නොවෙයි, උතුරේ ජනතාවත් ඡායාරූපයක් මහ මග තබාගෙන තමන්ගේ ස්වාමියා, තමන්ගේ දරුවා පිළිබඳ විලාප දෙනවා. සෑම දෙමාපියෙකුටම තමන්ගේ දරුවා දරුවෙක්. “උනහපුළුවාට තමන්ගේ දරුවා මැණිකක්”. එසේ නම් එවන් විශාල ඛේදවාචකයකට මුහුණ දුන් රටක් ලෙස වර්තමානයේ ජීවත් වන අපේ වගකීම වන්නේ යළි එවැනි පන්නයේ යුද්ධයක් අපේ රට තුළ ඇතිවීම වැළැක්වීමයි.
අපේ පරම්පාරව යුද්ධ කර තිබෙනවා. අපේ පරම්පරාව අතර වෛරය, ක්‍රෝධය, සැකය පැතිරී තිබෙනවා. නමුත් අපි අපේ දරුවන්ගේ පරම්පරාවට යුද්ධ නොකරන රටක්, ගැටුම් ඇති නොවන රටක්, සැකය,කෝපය වෛරය වෙනුවට සහෝදරත්වයේ බැදීම, ආදරය, ප්‍රේමය තිබෙන රටක් නිර්මාණය කළ යුතුයි. අපේ සියවසේ සිදුවීම්, සිදුවීම් බවට පත්වීමට ඉඩදී අත්හැරිය යුතු නැහැ, යහපත් මිනිසුන් ලෙස අපි සිදුවීම්වලින් පාඩම් ඉගෙන ගෙන ඒවා අත්දැකීම් බවට පත් කරගත යුතුයි.
එසේනම් මහා ඛේදවාචකයක් සහිත ඉතිහාසය විසින් අපිට කියන්නේ කුමක්ද, යළි එවැනි තත්ත්වයක් අපේ මාතෘභූමිය තුළ ඇති වීමට ඉඩ නොතැබිය යුතුයි කියන හඩයි. ඒ අත්දැකිම්වලින් අපිට පෙන්වන්නේ අපෙන් පසු පරම්පරාව යළි යුද ගැටුමකට යා යුතුයි කියා නොවෙයි. ඒ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ යුද්ධයෙන් තොර රාජ්‍යයක්.
මෙම යුද ස්මාරකය ඉදිරිපිට අප සිටගෙන ඔවුන්ට නිසි පරිදි ගෞරවය ඉටු කරනවා යනු යළි ගැටුමක් ඇති වීමට ඉඩ නොතබා වෛරයක් සහිත සමාජයක් වෙනුවට සහෝදරත්වයෙන් ආදරය සමගිය පිරි සමාජයක් නිර්මාණය කිරීමට සූදානම් කියන පණිවිඩය මෙය ඉදිරියේ තබා ශපථ කිරීමයි.
එහෙත් අද රට තුළ සිදුව තිබෙන්නේ විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම, බලය ආරක්ෂා කර ගැනීම සහ බලය තර කර ගැනීම වෙනුවෙන් මෙම යුද ගැටුම්, ජාතිවාදය සහ අන්තවාදය උපයෝගි කර ගැනීමයි. මේ කිසිවක් ස්වභාවිකව ඇති වූවක් නොවේ. විටින් විට තමන්ගේ බලය ලබා ගැනීම සහ බලය ආරක්ෂා කර ගැනීම සඳහාත්, තමන් විසින් කරන ලද අපරාධ වසන් කර ගැනීම සඳහාත් උපයෝගි කරගෙන තිබෙනවා. එසේ නොවන්න ෆීල්ඩ් මාර්ෂල් වසර දෙක හමාරකට වැඩි කාලයක් සිරගතව සිටීමට හේතුවක් නැහැ. එම අවදියේ ඔහු සහ මම ඉතා සමීපව ඇසුරු කළා. එහි තිබුණේ බලය මිස නීතිය හෝ යුක්තිය නොවෙයි. ඒ අයුරින් ඉතිහාසය මේ ගැටුම් සහ යුද්ධ බලය ලබා ගැනීම සහ බලය ශක්තිමත් කර ගැනීම සඳහා උපයෝගී කරගෙන තිබෙනවා. එහි වින්දිතයන් බවට උතුරෙත්, දකුණෙත් අපේ දරුවෝ පත් වී තිබෙනවා.
මෙවැනි යුද්දයක් ඇතිවීම සඳහා කිසිදු සාධකයක් නොසැපයූ, ඒ වෙනුවෙන් වැඩ නොකළ අපේ ගම්වල සාමාන්‍ය මව්පියවරුන්ගේ දරුවන් මිය ගියා. ඒ නිසා යුද්ධය යනු ඛේදවාචකයක් කියා අප ඉතා දැඩිව තේරුම් ගත යුතුව තිබෙනවා. යුද්ධය යනු විනාශයක්. නමුත් ඇතැම් අය නැවත නැවත පරාජිත සහ ප්‍රතික්ෂේප වූ කණ්ඩායම් හිතනවා යුද්ධය යනු ආශ්වාදයක් කියා. යුද්ධය යනු මිහිරි අත්දැකීමක් කියා ඔවුන් සිතනවා. නමුත් පොදු සමාජයට එසේ නොවෙයි. එසේ නම් මේ බොල් හඩට අපි තවදුරටත් බිය විය යුතුද. අපි සැමදෙනා එකවිට නැගිට සාමය අවශ්‍ය බවට හඩ නැගිය යුතුයි. අපේ හදවත, අපේ ප්‍රකාශයන් සහ අපේ ප්‍රවේශය යන සියල්ල අපි සාමය වෙනුවෙන් පෙළගැස්විය යුතුයි.
සාමය පාවා දීමේ ලකුණක් බවට පත් වෙමින් තිබෙනවා. සංහිඳයාව පාවා දීමක් බවට පරිවර්තනය වෙමින් තිබෙනවා. මිනිසුන් සමාජයක් ලෙස වර්ධනය වන විට තව තවත් උස් හඬින් අප ගෙන ආ යුතු වන්නේ මානවවාදය. මනුෂ්‍යත්වය. අපේ රට තුළ පමණක් නොවේ. ලෝකය පුරා ඇති වී තිබෙන යුද ගැටුම්වලින් ලෝකයට අත්පත් කර තිබෙන්නේ කුමක්ද? ජයග්‍රහණද? නෑ. විනාශයයි. ඒ නිසා මම හිතනවා අපි තිර අදිටනකින් වැඩ කළ යුතුයි සාමය වෙනුවෙන්.
අප ඉදිරියේ තිබෙන මේ ස්මාරකයෙහි ස්ථාවරත්වය, ආරක්ෂාව, අපේ දිවිදුන් සෙබළුන්ගේ ආධ්‍යාත්මය, අභිමානය ඇතුළු සියල්ල මේ කුළුණ තුළ කැටි වී තිබෙනවා. අප ඔවුන්ගේ ආධ්‍යාත්මය, වීර්යය, නිර්භීතභාවය, පරිත්‍යාගය අපි අපේ ජීවිතවලට කැටි කරගත යුතුයි. එසේ කළ යුතු වන්නේ කුමක් වෙනුවෙන් ද? ඒ වඩාත් සුබවාදී රාජ්‍යයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන්. අවසාන වශයෙන් යුද්ධය අවසන් කිරීම සදහා ජීවිත පරිත්‍යාග කළ සෙබළුන්ට, සදාකාලික ආබාධිතභාවයට පත් වූවන් හැමදාමත් අප අපේ හදවත් තුළ අනුස්මරණය ලෙස සමරනවා. ඔබ විසින් පෙන්වා දී තිබෙන කැප කිරීම, පරිත්‍යාගය, අප්‍රතිහත ධෛර්යය මේ රට ගොඩනැඟීම සඳහා අපට විශ්වාසයක් බවට පත් වේවි. ඒ වෙනුවෙන් අපි සෑම දෙනාම එක්ව නව සටනක් දියත් කරමු.
ගැටුම දුෂ්කර වන තරමට
ජයග්‍රහණය
වඩාත් තේජාන්විත වේ.
The harder
the conflict,
the more glorious
the triumph.
Thomas Paine