
විදුලි ඉල්ලුම අඩුවෙයි - සෝලා පැනල් ක්‍රියා විරහිත කරන්නැයි තවදුරටත් ඉල්ලයි
උත්සව සමයේදී විදුලි සැපයුම සහ ඉල්ලුම අතර සමතුලිතතාවය කළමනාකරණය කිරීම සඳහා ගත් පියවර සම්බන්ධව ලංකා විදුලි බල මණ්ඩලය සිය මෙහෙයුම් පිළිබඳ සාරංශයක් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අප්‍රේල් නිවාඩු කාලය තුළ විදුලිය සඳහා ඇති ඉල්ලුම සහ ක්‍රියාත්මක වන පුනර්ජනනීය බලශක්ති සැපයුම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයකින් පසුව එම කාලය තුළ විදුලි සැපයුම කළමනාකරණය කළ යුතු බව ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කළ බව එහි සඳහන් වේ.
ඕනෑම අවස්ථාවක විදුලි නිෂ්පාදනය සහ පරිභෝජනය අනුරෑප ලෙස සමාන විය යුතු බව පෙන්වා දෙන එම මණ්ඩලය සඳහන් කර ඇත්තේ විදුලිය වැඩි වශයෙන් භාවිත නොවන අවස්ථාවකදී විදුලි නිෂ්පාදනයද අඩු කළ යුතු බවය.
ඒ අනුව අප්‍රේල් මස 10 වන දින සිට මෙරට විදුලි ඉල්ලුම ඉතා අවම මට්ටමක පැවති අතර කිලෝවෝට් 100ට වැඩි වහලය මත ස්ථාපිත කර ඇති සියලු සුර්ය පැනල වල සැපයුම් තාවකාලිකව විසන්ධි කිරීමට පියවර ගත් බව ලංකා විදුලි බල මණ්ඩලය සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.
විදුලි ඉල්ලුම තවදුරටත් පහළ යාම හේතුවෙන් වහළ මත සුර්ය බලශක්ති ඒකක හිමිකරුවන්ට ද දිවා කාලයේ දී සුර්ය පැනල ක්‍රියාකාරීත්වය නතර කරන ලෙස අප්‍රේල් මස 13වන දින දැනුම් දීමක් සිදුකළ අතර පද්ධතියේ ස්ථායිතාව පවත්වාගැනීමට එය විශාල පිටුවහළක් වු බවද එම මණ්ඩලය සඳහන් කර තිබේ
එම නිසා විදුලි ඉල්ලුම සාමාන්‍ය තත්වයට පත්වනතුරු විදුලි බල මණ්ඩලය සිදුකරන දැනුම් දීම් වලට අනුව වහල මත සුර්ය බල ශක්තිය ඇති සියලු හිමිකරුවන් පස්වරු 03 දක්වා ඔවුන්ගේ ඒකක වසා දමා අඛණ්ඩව සහය ලබා දෙන ලෙසද විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලීමක් කර තිබේ.