
මහ සිකුරාදා අද
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මත දිවි පිදීමේ යාගය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරන මහ සිකුරාදා දිනය අදයි.
ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහිකරමින් කිතුනුවන් අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දාන මාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නමස්කාරයේ යෙදීම ආදි ආගමික වත්පිළිවෙත්වල නිතර වෙයි.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසය මත දිවිපිදිම අද දිනයේ දී සිහිපත් කරන අතර උන්වහන්සේ මරණයෙන් උත්ථානය වීම සිහිපත් කිරීම හෙවත් පාස්කු ඉරිදා දින එළැඹෙන ඉරිදාට යෙදී තිබේ.
ඒ වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේය.
පාස්කු ඉරිදා දිනයට සමගාමීව ආරක්ෂක පියවර ක්‍රියාත්මක කරන ලෙස ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද ත්‍රිවිධ හමුදාපතිවරුන්ට උපදෙස් ලබාදී ඇත.
මහජන ආරක්ෂක අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණයෙන් රට තුළ අවශ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසද ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබේ.
මේ අතර පාස්කු උත්සවය හේතුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය ද පවසයි.
පාස්කු උත්සවයේ දේව මෙහෙයන් අද සිට එළඹෙන 20වනදා දක්වා පැවැත්වෙන බැවින් ඒ සදහා සහභාගිවන බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙලෙස විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට නියමිතය.
එමෙන්ම බැතිමතුන් වැඩි වශයෙන් පැමිණිය හැකි දේවස්ථාන හඳුනාගෙන එම ස්ථානයන්හි හා ඒ අවට ආරක්ෂාව තහවුරු කිරීමත්, ප්‍රධාන දේවමෙහෙයන් පැවැත්වෙන දේවස්ථාන සඳහා වැඩි අවධානයක් යොමු කර ආරක්ෂක පියවර ගන්නා ලෙසටත් වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස්දී ලබාදී තිබේ.
මේ සඳහා පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ත්‍රිවිධ හමුදා නිලධාරීන් රාජකාරියේ යෙදවීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.